Monday, March 6, 2017

පිසාච නගරය

පිසාච නගරය


අකාලේ ඇදහැලූනු වැස්සෙන් පාර තෙමිල කාණු උතුරපු තැන්වලින් එන වතුර පාර දිගේ ගලනව. වැහි අනධකාරයට හැන්දෑ අදුර එකතුවෙලා හුළං පොදක් නැති ගුප්ත නිහඩකමත් එක්ක හිතට ගේන්නෙ අසහනයක්. වෙනදට සතියට සැරයක් හම්බෙන්න ආවම සතියක් තිස්සෙ එකතු කරගත්ත දේවල් ඔක්කොම වමාරන ඇයත් අද නිහඩවෙලා. මගෙ අතේ එල්ලිලා නොඉන්න ඇය ඉන්නවද කියලවත් හොයන්න බැහැ. එයාටත් මොනව හරි දැනෙනව වෙන්න ඇති. කලකට පෙර උද්යෝගයෙන් පිරි නගරයක් උනත් අද දැනෙන්නෙ කනත්තක් මැදින් ඇවිදන් යනව වගේ හැගීමක්. සැරෙන් සැරේ පාරෙ හමුවෙන හැම මිනිහෙක් දිහාම අපි බැලූවෙත් අපි දිහා ඒ අය බැලූවෙත් හරිම සැකයකින්. භිය, අවිශ්වාසය, බලාපොරොත්තු විරහිත බව ඒ ඇස්වල පිරිල තිබුණ. අපේ ඇස්වලින් ඒ අය දකින්න ඇත්තෙත් ඒකම වෙන්න ඇති.  වාතයේ සීතළ කලකට කළින් අපිට ආස්වාදයක් ගෙනාවත් දැන් දැනෙන්නෙ ඇටමිදුළු පවා කකියන වේදනාවක්. සිහිනයක් වගේ දැනෙන අතීතය දිහාවට මතකයන් හෙමි හෙමින් ඇවිදගෙන ගියා.
වාතයේ උණුසුම එන්න එන්නම වැඩිවෙන්න ගත්ත හින්ද හැමෝටම  ඕනෙවුණා පොඞ්ඩක් සීතළට සනීපෙට ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඒකට උත්තරයක් විදිහටයි වාතය සීතළ කරන්න රසායන ද්‍රව්‍ය වාතයට එකතු කරන්න තීරණයක් ගන්නෙ. එහෙන් මෙහෙන් සමහරු මේකෙන් ඉස්සරහට වෙන්න පුළුවන් අනතුරු ගැන කෑ ගගහ කියන්න ගත්තට වාතයේ උණුසුමෙන් හෙම්බත්වෙලා උන්නු මිනිස්සු ඒ කතා ගණන් ගත්තෙ නැහැ. හැමෝම හිතුවෙ මේක නියම තීරණයක් කියල. වාතය සිසිල් වෙන්න ගත්තත් ඒකත් එක්ක කළින් මේකට විරුද්ධව කතා කර කර හිටපු ගොඩක් අයත් ඒ කතාවල් නවත්තල මේ සිසිල විදින්න ගත්ත. හැම තැනම අනිත් නගර වලත් මේ විදිහට වාතය සිසිල් කරන්න ගත්ත හින්ද එහෙම නොකර ඉදීමක් ගැන විශ්වාසයක් නැතිවෙලා ගියා. කොටින්ම මේ විදිහට වාතය සිසිල් වෙන එක අනිවාර්ය දෙයක් කියල අපි හිතුව. ඒත් කාලයක් යද්දි ඒ සීතළත් එක්කම ජීවිතේ තව තවත් වෙහෙසකර වෙන්න ගත්ත. වාතය ස්වසනය කරන්න බැරි තරම් වෙන්න ගත්ත. හැම හුස්මක් ගාණෙම ශරීරයට වේදනාවන් ගෙනෙන්න ගත්ත. මිනිස්සු ඒ වේදනාවට උත්තර හෙව්ව හැමතැනම. අන්තිමට එක භයානක සොයාගැනීමක් වෙනව. ඒ තමයි මේ වේදනාවෙන් මිදෙන්න මනුස්සයෙක් විදිහට බෑ කියන එක. ඒ එක්කම මතුවෙන කාරණය එහෙනම් මනුස්ස ජීවිතයෙන් ඈත් වෙලා මේ වේදනාවෙන් මිදෙන්න පුලූවන් කියන කාරණය. මේ ඛේදවාචකය පටන් ගන්නෙ එතනින්.
එක දවසක් අභිරහස් විදිහට මරා දැමුණු මිනිහෙක් ගැන ප‍්‍රවෘත්තියක් වාර්තාවුණා. විශේෂත්වයවුණේ ඒ මනුස්සයගෙ ශරීරයේ ලේ අසාමාන්‍ය විදිහට අඩුවෙලා තිබුණ එක. බෙල්ලෙ තිබුණ සපාකෑමක් වගේ තුවාලෙකින් ලේ පිට වෙන්න ඇති කියල හිතුවත් ඒ මළසිරුර හම්බුණ තැන ඒ තරම් ලේ සළකුණු තිබුනෙ නැති හින්ද වෙන කොහොදි හරි මරල දාල පස්සෙ එතන්ට ගෙනත් දාන්න ඇති කියල හිතුව. කොහොම හරි මිනිස්සු වැඩිය ඒ ගැන හිතන්න ගියෙ නැහැ. ඒත් ටික දවසක් යද්දි තැන තැන ඒ විදිහට මැරිච්ච මිනිස්සු හම්බෙන්න ගන්නවත් එක්කම හැමෝම ඒ ගැන කතා වෙන්න ගත්ත. සමාජය බය කෙරුව අභිරහසක් හැම මිනිහෙක්ගෙම හිතට තැතිගැන්මනක් ගේන්න ගත්ත. ඔය අතර දවසින් දවස හම්බෙන ඒ වගේ මළසිරුරු ගාණ වැඩි වෙන්න ගත්ත. ඒ එක්කම මේ ඝාතනයන්ට සම්බන්ධ අය එහෙන් මෙහෙන් අත්අඩංගුවට ගන්නගත්ත. ඒ ඝාතනයන් ගැන ප‍්‍රශ්න කරද්දි ඒ මිනිස්සු ආයෙ ආයෙ පුනරුච්චාරණය කරපු හේතුව තමයි ගැළවීම.... ගැළවීම.... කියන කාරණය. මොකෙන්ද මේ ගැළවෙන්න හදන්නෙ කියන ප‍්‍රශ්නය අපිට තිබුණෙ ටික දවසයි. වාතයේ සිසිල් බවින් ගෙනෙන වේදනාවෙන් මිනිසෙකුගෙ උණුසුම් රුධිරය බීමෙන් මිදෙන්න පුලූවන් කියන කාරණය කවුරුන් හරි සොයාගෙන. මිනිසුන් දසදෙනෙක්ගෙ රුධිරය බිව්වොත් ඒ වේදනාවෙන් සදාකාලිකව මිදෙන්න පුලූවන් වෙනවලූ. ඇත්තටම එතනදි වෙන්න මොකක් හරි ලෙඩක් හොදවෙනව වගේ දෙයක් නෙමෙයි ඇත්තටම ඒ රෝගයට බිලිවෙලා රෝගයේ වේදනාවෙන් මිදෙනව වගේ දෙයක්. ඒ විදිහට මිනිසුන්ගෙ උණුසුම් රුධිරය පානය කිරීමෙන් වේදනාවෙන් මිදෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ වේදනාවෙන් මනුස්සයෙක් විදිහට මිදෙන්න බැරි හින්ද මනුස්සයව පිසාචයෙක් බවට පත්කරණ එක. ඒ විදිහට පිසාචයො බවට පත්වෙන අයට සිසිල් වාතය ආස්වාසයෙන් වේදනාවක් දැනෙන්නෙ නැහැ.
මුලදි මේක මිනිස්සුන්ට පිළිකුලක් වුණාට පස්සෙ ටික ටික හැමෝම පිසාචයො වෙන්න දගලන්න ගත්ත. සීතළ හින්ද අසනීප වෙලා එන ලෙඞ්ඩුන්ගෙ ලේ දොස්තරල උරා බොන්න ගත්ත, පන්සලට දානෙ අරන් එන දායකයන්ගෙ ලේ හාමුදුරුවො බොන්න ගත්ත, පෙම්වතියගෙ ලේ පෙම්වතා බොන්න ගත්ත අන්තිමේ අම්ම තාත්තගෙ ලේ බීල හරි හැමෝම පිසාචයෙක් වෙන්න දැගලූව. කට්ටියක් ඒ විදිහට ගොදුරු වෙලා මැරිල ගියා, තව කට්ටියක් පිසාචයො වුණා, තවත් කට්ටියක් පිසාචයො වෙන්න ලේ හොය හොය ඇවිදින අමනුස්සයො වුණා. අන්තිමට මානව සම්බන්ධකම් දියවෙච්ච යක්ෂයාගේ භූමියක් බවට නගරය පත්වුණා. පිසාචයෙක් නොවී මේ හැම දෙයක්ම දරාගෙන ඒ සීතළට මූණ දෙන එක ඒ තරම් ලේසි දෙයක්වුණේ නැහැ. එහෙම උත්සහ කරපු ගොඩක් අයත් නතරවුණේ අන්තිමේ පිසාචයො වෙලා. හැබැයි පිසාචයෙක් නොවී පිසාචයො අතින් මැරෙන මොහොත වෙනකන් පොර බැදුව මිනිස්සුත් නොහිටියම නෙමෙයි. දැන් මං කවුද? ඇත්ත මං තාම පිසාචයෙක් නෙමෙයි. ඒ වගේම මනුස්සයෙකුත් නෙමෙයි. දහවෙනි බිල්ල හොයන අමනුස්සයෙක්. පේ‍්‍රම සබදතාවයෙ සංවත්සරය දවසෙ ඇවිදින්න යන්න දාගෙන පෙම්වතියගෙ ලේ බොන්න ලෑස්තිවෙච්ච එකෙක් ගාව මනුස්සයෙක් ඉදීවි කියල හිතන්න පුලූවන්ද?
සීතළ එක්ක පොරබදල හෙම්බත් වෙච්ච දවසක රෑ අවසිහියෙන් වගේ මං පළවෙනි ගොදුර හොයාගත්ත පාළු පාරකදි. එතන ඉදන් ජීවිතේ එකම අරමුණ වුණේ පුලූවන් තරම් ඉක්මනට ලේ බොන්න මිනිස්සු දහයක් හොයාගන්න එක. අහළ පහළ ගෙවල්වල අය, නෑදෑයො, යාළුවො මේ හැම කෙනෙක්ම මගේ ගොදුරු අතර වුණා. අද මං මනුස්සයෙක් විදිහට නාමිකව හරි ඉන්න අන්තිම දවස. ඒ දවස්වල දවසක් දෙකක් දැක්කෙ නැතිවුණාම කෑවෙ නෑ වගේ දැනුන, පුලූවන් හැම වෙලේම කෝල් කර කර කටහඩ අහන් උන්නු පෙම්වතියගෙ ලේ උරාබොන්න මං ලෑස්තියි. අපි ඇවිදන් ගිය මාවතේ කෙළවර උද්‍යානයට ඇතුල්වෙලා අපි දෙන්නට පුරුදු බංකුවෙ තනිවුණා. දැන් වෙලාව ඇවිත් පුරුදු විදිහට බංකුවෙ තනිවුණාම කරණ ආදරණීය සිපගැනීමට. ඒක ඉවර වෙනවත් එක්කම මගෙ වැඬේ කරගන්න  ඕනෙ. මේ වගේ වෙලාවක් ආයෙ ලැබෙන් නැහැ. සිප ගැනීම අවසන තව සිප ගැනීමක් ඇරඹුනා එකකට එකක් පසු පස වැළද ගැනීම් හා සිප ගැනීම් ගලාගෙන ගියා. පුදුමයක් මට සීතල මැදින් උණුසුමක් සිරුර පුරා දුවනව දැනුන. 
අන්ධකාර සන්ධ්‍යාවක් අවසන රාති‍්‍රය උදාවෙමින් තියෙනව. නමුත් ඒ අන්ධකාරය මැදින් පෙරදිගින් සද නැගී නගරය ආලෝකමත් කරණව. කිසිවෙකු අන්ධකාරය සමග එළියට නොබසිනා සමයක තරුණයෙක් හා තරුණියක් අත්වැල් බැද සිනා සලමින් මාවත දිගේ ඇවිදයන් යනව අපිට පෙනෙනව. හොදින් බැලූවොත් ඒ දෙන්න විතරක් නෙමෙයි සෙවණැලි අතර සැගවෙමින් තවත් ගොඩක් දෙනෙක් ඒ මාවතේ ඇවිදන් යනව පෙනේවි. මාවතේ තාප්ප මත රහසින් ඇළවුණු පෝස්ටරයක තියෙනව ”පිසාචයො පරදවමු”. මේ නගරයේ ඉතිහාසය ගැන අනාගතයෙදි ලියැවෙන කෘතියක ලේඛකය අනිවාර්යයෙන්ම ලියාවි අන්ධකාරම හැන්දෑවක ආලෝකමත් අරුණෝදයක් ගැන විශ්වාසය අත්නොහැරි මිනිසුන් ටිකක් ගැන කතාවක්.

(රිවිහාර පින්නදුව)