Wednesday, March 16, 2016

මට බයයි කවි ලියන්නට පේ‍්‍රමයට



මට බයයි
කවි ලියන්නට පේ‍්‍රමයට


මට බයයි
කවි ලියන්නට පේ‍්‍රමයට
පන්හිදක් සවිමත්ද ඒ තරම්
ලේ ඇට මිදුළු විනිවිදින හැගීමක්
තුඩගින් එළියට ගන්න
බසක් පරිනතද ඒ තරම්
හදවතම සලිතවන ස්වරයක්
වචනවල සිරකරලන්න
කඩදාසි  ඕනෑද මොනතරම්
හැගීමක අරුත පවසන්න
සුන්දර යමක් වේද කොහෙවත්
ඇගෙ සිනහවකට උපමා දෙන්න
මීවිත සොයා දිය හැකිවේද
ආලය සේ මත්වෙන්න
වෙදදුරෙක් දෙජස පවසන්න
ඇය සේම සුව සදන
කවියෙක්ද මා ඒ තරම්
හැගුම් කවියක ගුලිකරලන්න

(රිවිහාර පින්නදුව)


Thursday, March 10, 2016

ගන්න කූල් වතුර බෝතලයක්


ගන්න කූල් වතුර බෝතලයක්


ජීවිතේ කොහෙද සීතළ
රත්වෙලා ගිණිගන්නව
හැමදාම හැමතැනම
රෑට ගෙදර යද්දි
පොඩි උන්ගෙ බඬේ ගින්දර
උන්ගෙ බඩ බොකු විතරක් නෙමෙයි
මගේ පපු කැවුත්තත් පුච්චන
සින්නවෙන අම්මගෙන් ලැබුණු රන් මාලය
ඉවරවුණු ගෑස් එක
ඇගේ හීල්ලිල්ලෙන්
රෑ සයනයම ගිණිගත්ත
ඒ රස්නෙ හින්දම නින්ද දුරගිය
අපි දෙන්න කතා නැතුව
සිවිලිමේ වතුර බේරුණු පාරවල්
හැඩ බලන
ඉස්කෝලෙට ගෙවන්න
ටියුෂන් එකේ මේ මාසෙ 
කාඞ් එක ගන්නට
පොඩියි කියල නෑ
උන් ඉන්නෙත් ගින්දරින්
ලයිට් බිල් වතුර බිල්
ගෙවල් කුලී තව හුගක්
මාසෙ අන්තිමට 
ගිණි ගන්නව නෙමෙයි
බෝම්බ පුපුරනව සාලෙ මැද්දෙම
ඉතිං වැඩ ඇරිල
ගෙදර යන 
කෝච්චියෙ හිරවෙලා රත්වෙන
ඇගිලි තුඩු වලින් ඉස්සිලා
හුස්මක් ගන්න ඉඩක් හොයන
උඹලව තලාගෙන
කෝච්චියෙ උඩ පහළ යන
මං දන්නව හොදට
උඹලත් පිච්චෙනව
මං වගේම ගින්දරින්
ඒත් අනේ මගෙ ගින්දර
ටිකක් හරි නිවිල යන්න
සීතළ වතුර බෝතලයක් අරන්
කීයක් හරි දෙන්න
තරගෙට වඬේ විකුණන මල්ලි
පනහට සීයට වඬේ ඔතනව
රතු පත්තර පිටුවල
තව බෝතලයක් දෙකක් විකිණුනොත්
මමත් පනහක වඬේ
අරන් යනව රතු පත්තර පිටුවක ඔතපු
අහුවෙන හැමදේම කියවන
පොඩි එකා කියවනව ඒකත්
අපි වගේ ගින්දරට
සීතළ වතුර විකුණන් නැතුව
උන්වත් හොයාවි
ගින්දර නිවන විදිහක්

(රිවිහාර පින්නදුව)