Saturday, November 26, 2016

සයිටම් ජාතිවාදියෝ

සයිටම් ජාතිවාදියෝ


ජාතිය කියන්නෙ එක්තරා අනන්‍යතාවයක්. හුදෙක්ම ජනවර්ගයක් පමණක් නෙමෙයි ආගම්, කුලය, ප‍්‍රදේශ මේ ආදී විදිහට වෘත්තීන් තුළ දක්නට ලැබෙන ස්වාභාවයන් දක්වා විවිධ ස්වරූපයන්ගෙන් විවිධ තලවල මේ තත්වය අපිට දකින්න පුලූවන්. මෙහිදී අදාළ කණ්ඩායමට විවිධ පොදු අනන්‍යතාවයන් පවතිනවා. කතා කරණ භාෂාව, අදින පළදින විදිහ, ආහාර, සිරිත් විරිත් මේ ආදී විදිහට එම අනන්‍යතාවයන්ගේ ස්වරූපය පවා විවිධයි. ආසියානු පසුගාමීත්වයන්ද පවතින ලංකාව ඉංදියාව වැනි සමාජවල මෙවන් ප‍්‍රවණතාවයන් වැඩියි. ඒ වගේම නවලිබරල්වාදයේ ව්‍යාප්තියත් සමගම සමාජය මුහුණ දෙන අනන්‍යතා අර්බුදය වැනි කරුණු එක්ක යම් මට්ටමකින් ලිබරල්වාදය විසින් මෙවැනි ප‍්‍රවණතා නැති කරණවා වැනි මතයක් පැවතියත් එක් මට්ටමකින් එහාට එයම එය පෝෂණය කරණ ආකාරය හදුනාගන්න පුළුවන්. මීට බලපාන ආර්ථික හේතූන් ආදිය ගැනත් ඒ ගැන තේරුම් ගැනීමේදී අවදානය යොමුකරන්න අවශ්‍යයයි. ජනපි‍්‍රය පාසල්වල බිග් මැච් සමයේ හා ඒ ආශි‍්‍රතව නඩත්තුවෙන මනෝභාවයන්, විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක හෝ  එවැනි වෙනත් පීඨයක ශිෂ්‍යයාවක් සාමාන්‍යයෙන් කලා පීඨයේ ශිෂ්‍යයෙකු සමග පේ‍්‍රම සබදතාවක් ඇතිකර නොගැනීම, කොළඹ කේන්ද්‍රීය සිවිල් බුද්ධිමය අවකාශයන් තුළ ඉංග‍්‍රීසි උගත් නාගරික බුද්ධිමතුන්ගෙන් බාහිර අයෙකුගේ මතවාදයන් කෙරෙහි දක්වන හෙළා දකිනා ස්වරූපයේ නොසැළකිල්ල මේ ආදී බොහෝ හැසිරීම් අපිට මෙහිදී මෙම එකම මූලයක් සමග සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති ආකාරය හදුනාගත හැකිය. ආස්වාදනීයම කාරණය මෙම එක වර්ගයක ජාතිවාදයක් ප‍්‍රතික්ෂේප කරණ එය නැති කිරීමට තීරණාත්මකව මැදිහත්වෙන පිරිස්ම තවත් තැනක ජාතිවාදයේ වෙනත් ස්වරූපයකින් ආතුරවීමයි.
පසුගිය සමයේ ගොඩනැගුනු මුස්ලිම් විරෝධී සිංහළ බෞද්ධ අන්තවාදයට එරෙහිව ප‍්‍රගතිශීලීව මැදිහත්වූ මගේ මිතුරෙක්ම පාසලේ ක‍්‍රිකට් තරග හෝ වෙනයම් අවස්ථාවන්ට අදාළව නඩත්තුවෙන අනිත් අය මොක්කුන්ද අපි තමයි පොරවල් පන්නයේ මනෝභාවයට ගොදුරුවීම හා එය නඩත්තු කිරීමට දායකවීම, සමාජ තත්වයන් හා ආර්ථික කරුණු මත වෙනස් කොට සැළකීමට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ පෙනී සිටින මගේ මිතුරෙක්ම බොදු බල සේනාව වැනි සංවිධාන වල මතවාදයන් නියෝජනය කිරීම, ශිෂ්‍ය සංගමය මගින් පෙන්වන චිත‍්‍රපටයක් නරඹා ඒ තුළින් මතුවෙන අතීත සමාජයේ කුල පීඩනය ගැන කතා කරණ වෛද්‍ය පීඨයේ මගේ මිතුරියකට කලා පීඨයේ සොයුරෙකුගේ පෙම් ඇරයුම විහිළුවක් වීම ආදී අපිට ජීවිතයේ හමුවෙන බොහෝ එකිනෙකට පරස්පර හැසිරීම් අප තේරුම් ගතයුත්තේ මේ අනුවය. මෙහිදී අප සියල්ලන් එකම මඩගොහොරුවක විවිධ තැන්වල එරී අනෙකා මඩ නාගෙන සිටිනු බලමින් සිනහසෙන තත්වයක් නිර්මාණයවී ඇත. ඒ අනුව එක් අවස්ථාවක යම් අන්තවාදයකට විරුද්ධව පෙනී ඉන්නා අයෙකුගේ මැදිහත්වීම ඔහු වෙනත් තැනක වෙනත් ස්වරූපයක අන්තවාදයකට එකගවීම තුළ නිශේධවී යයිද?
එලෙස පාරිශුද්ධ මැදිහත්වීමක් පමණක් වලංගුවන්නේනම් එවැන්නක් කළ හැක්කේ ආගම් වල හමුවෙන දෙවියන් වහන්සේ කෙනෙකුට හෝ අරහත් තත්වයට පත්වූ කෙනෙකු වැනි අයට පමණක් වනු ඇත. එබැවින් යම් අයෙකුගේ එවැනි මැදිහත්වීමක් අප භාරගත යුතු අතර නැවත වෙනත් තැනකදී ඔහු සම්බන්ධවන ජාතිවාදයකට අදාළව ඔහුට විරුද්ධ අන්තය ගැනීමටද අපිට සිදුවනු ඇත. එලෙසම අනෙක් අයෙකුගේ එවැනි අන්තවාදයකට විරුද්ධවීම තුළ ඔහුට ඔහු තුළ සිටින අන්තවාදී යක්ෂයන් හා සටන් කිරීමට ඔහුටද සවිය ලැබෙනු ඇත. එසේම මෙම විවිධ ජාතිවාදයන්ගෙන් ජනනයවන සමාජමය හානිය විවිධ අවස්ථාවන්ට හා තත්වයන්ට අදාලව වෙනස් වෙයි. 83 කළු ජූලියට ආසන්න කාල සීමාව තුළ සිංහළ දෙමළ ජාතිවාදයන් තීරණාත්මක විය. පසුගිය ආසන්න කාල සීමාව තුළ මතුවූ තත්වයන් තුළ සිංහළ මුස්ලිම් ජාතිවාදයන් තීරණාත්මක විය. සියළු අකාරයේ එවන් ජාතිවාදයන්, අන්තවාදයන්ට එරෙහි වන අතර එවැනි සුවිශේෂී තත්වයන්ට අදාල අපගේ මැදිහත්වීම අපට තීරණය කිරීමට සිදුවනු ඇත.
මුදල් මත පදනම්ව සමාජයේ ස්ථරයන් අතර ඇතිවන වෙනස් කොට සැළකීම් හුදු ජාතිවාදයකට ගොනු කිරීම ලියුම්කරුට ගැටළු සහගතය. නමුත් ඒ තුළත් අප පෙර සදහන් කළ ජාතිවාදමය ස්වරූපය පවතින බැවින් ඒ පිළිබදව මූලික අවධානය යොමු කරමි. සයිටම් වගේම භීඊඵ වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ටද අදාළව තියෙන කාරණය තමයි නිශ්චිත ආදායම් මට්ටමක් පෙන්නල ඒ සීමාවට උඩ අයට විතරක් එන්න දෙන එක. මේක අසාධාරණයි කියල කිව්වහම සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ වෙන්නෙ දුප්පත් අයට යන්න රජයේ විශ්වවිද්‍යාල  ඕන තරම් තියෙනවනෙ සල්ලි තියෙන අයට යන්න ඒ වගේ ඒව තිබ්බම මොකද?, රජයට හැමෝටම උසස් අධ්‍යාපන අවස්ථා දෙන්න බැහැ ඉතිං ඒකට පුද්ගලික ආයෝජකයන්ගෙ උදව්වත් ගන්න  ඕනෙ වගේ උත්තර. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම යන කාරණයත් එක්ක ඔය කාරණයන්ගෙ යථාර්තය ගැන මේ ලිපියෙ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මේ සාකච්ඡුාව ඇතුලෙ එක් කාරණයක් මතුකරන්න උත්සහ ගන්නව. නිකමට හිතන්න උසස් අධ්‍යාපන අවස්ථා සීමිත හින්ද රජය විශ්වවිද්‍යාලයක් හදල ඒකට එක ජාතියක අය විතරක් හරි ආගමක අය විතරක් එන්න කිව්වොත් ඒක සාධාරණ වෙයිද? අනිත් ආගම් වල අයට නැත්තන් ජාතීන් වල අයට පොදුවේ යන්න වෙන විශ්වවිද්‍යාල තියෙන්නෙ එහෙම එකේ මෙහෙම එකක් හදල ඒ මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න දුන්නට මොකද? වගේ දෙයක් උත්තරයක් විදිහට අපිට භාරගන්න පුළුවන්ද? විශේෂයෙන්ම පාලකයින් ප‍්‍රතිපාදන කප්පාදු කරල පොදුවේ අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාවන් තව තවත් අහිමි කරණ තත්වයක එහෙම විශ්වවිද්‍යාලයක් හැදුවොත් මොකක් වෙයිද? අදාල ජාතියේ ජාතිවාදී ස්ථරයන් හැරෙන්න හැමෝම කියයි උසස් අධ්‍යාපන අවස්ථා සීමත වෙන එකේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ ජාතියෙ අයට විතරක් නෙමෙයි හැමෝටම. අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවල ඒ අවස්ථාවන් පුළුල් කරන් නැතුව එක ජාතියක අයට විතරක් යන්න විශ්වවිද්‍යාල හදන එක වැරදියි. ඒවට හැමෝටම යන්න ඉඩහදල දෙන්න කියල.
අපිට අර කළින් කතා කරපු ජාතිවාදයන්ගේ විවිධ ස්වරූප අතර ගැටුම හම්බෙන්නෙ මෙතනදි. කළින් කිව්ව කල්පිත විශ්වවිද්‍යාලය හැදුවොත් ඒකට විරුද්ධව මරාගෙන මැරෙන්න ලෑස්තිවෙන සමහර අයට භීඊඵ එකේ මුදල් සීමාවක් දාල එක්තරා ස්ථරයකට විතරක් එන්න කියද්දි ඒක මාර වැඩක් වෙනව, සයිටම් එකට විරුද්ධ වෙන එක පසුගාමී කුහකයන්ගෙ වැඩක් වෙනව. (දැන් ඉතිං ලක්ෂ අටේ ශිෂ්‍ය ණය තියෙන හින්ද හැමෝටම සමාන අවස්තා තියෙනව වැනි ව්‍යවහාර භාෂාවේ ගොන් ජෝක් වලින් මෙයට පිළිතුරු නොලැබෙනු ඇත) NSBM එකේ වෙළද දැන්වීමක එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පහසුකම් ගැන විස්තර දකිද්දී මට මතක්වූයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර වල සහෝදරයින් කොරිඩෝවල පවා මෙට්ට පැදුරු එළාගෙන රැය ගතකරණ ආකාරයයි. ආර්ථිකමය සාධක මත සමාජ කණ්ඩායම් දෙකකට කරණ වෙනස් කොට සැළකීම මෙමගින් පැහැදිලි වෙයි. (එහෙනම් අධ්‍යාපනය විකුණන එකට විරුද්ධ නොවී ඒවට වැඩිපුර පහසුකම් ඉල්ලූවහම හරිනෙ වැනි අදහසක් හිතට නැගේනම්, පිලිතුර අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමෙන් ඇතිවන අර්බුදය සම්බන්ධ සංවාදයන් තුළ හමුවෙනු ඇත. මෙම ලිපිය තුළ අධ්‍යාපනයේ අර්බුදය නොව සමාජය තුළ ඇති මුදල මත වෙනස් කොට සැළකීම ගැන අවධානය යොමු කරයි)
අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු හැම කාරණයක් තුළම මෙම වෙළද පල සමාජය තුළ මුදලේ ජාතිවාදය කි‍්‍රයාත්මක වෙයි. එහි හැඩය තේරුම් ගැනීමට මෙවර අයවැය සියුම්ව නිරීක්ෂණය කිරීම ප‍්‍රමාණවත් වෙයි. එය ආර්ථිකය හසුරුවන වෙළද පැලැන්තියක් මත පදනම්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන් කෙටි කාලීනව හා දිගුකාලීවනව තෘප්ත කිරීම පදනම් කරගනිමින් ගොඩනැගී ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට මුං ඇටවල මිළ අඩු කරණවා වැනි ලොලි පොප් ලබාදී ඇත. ඒ අර්ථයෙන් මෙය ජාතිවාදී අයවැයකි. යම් මූල්‍ය ශක්‍යතාවයක් සහිත ස්ථරයක් වෙනුවෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගා අපි අධ්‍යාපන අවස්ථා පුළුල් කරණවා යැයි බෙරිහන් දෙන අතර සමාජයේ සාමාන්‍ය ස්ථරයන්ගේ පිරිස් උසස් අධ්‍යාපන සම්මත අවස්ථාවන් අහිමි වන විට එයට විකල්පයක් ලෙස භාවිතා කරණ බාහිර උපාධි අවස්ථාවන් කප්පාදු කරයි. පහුගිය කාලයේ ආණ්ඩුවෙන් යෝජනා වුණු මන්දිර බද්ද, සුපිරි වාසි බද්ද වැනි බදු ආණ්ඩුව හකුලා ගන්නා අතර අගමැතිවරයා විසින් එයට හේතුව ලෙස දක්වන්නේ විවිධ පිරිස් එයට විරුද්ධවූ නිසා එය අහෝසි කළ බවයි. අපි එම බදු අහෝසි කරන්නට කළ එකදු උද්ඝෝෂණයක්, පාගමනක් දුටුවේ නැත. එසේවත් නොකර අගමැතිවරයාගෙන් කරණු ලැබූ හුදු ඉල්ලීමකින් ඔහු එය අහෝසි කර ඇත. දැන් මට මතක්වන්නේ සරසවි ඉදිරියේ මාස ගණනක් තිස්සේ තියෙන සත්‍යග‍්‍රහයන්ය, සයිටම් අහෝසි කිරීම හා අධ්‍යාපනය විකිණීමට එරෙහි පාගමන් හා ඒවාට එල්ලවූ ප‍්‍රහාරයන්ය, එවායේදී තුවාල ලද සොයුරන් හා සිරගතවූ අන්තරේ කැදවුම්කරු සහෝදරයා ඇතුළු සොයුරන්ය. ඔවුන්ගේ ඉල්ලීම් වලට අගමැතිවරයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ශිෂ්‍ය නායකයින්ට  ඕනෙ විදිහට නටන්න ලෑස්ති නෑ කියමිනි. එම විරෝධය ගොනු වන්නේ සමාජයේ පොදු ජනයාගෙනි නැත්නම් එක් ස්ථරයකිනි. මන්දිරබදු විරෝධය එන්නේ තවත් සුළුතර ස්ථරයකිනි. අගමැතිවරයා තමන් නටන්නේ කාගේ උවමනාවන්ට අනුවද යන්න අපට පැහැදිලි කරදී ඇත. මේ අනුව මුදල් මත පදනම්වූ සමාජයේ විවිධ ස්ථරයන්ට වෙනස් කොට සැළකීමේ ජාතිවාදයක් කි‍්‍රයාත්මකවෙයි. එම ස්ථරයට අවැසි ලෙස සියල්ල තීරණය වෙයි. සයිටම් අර්බුදය තුළද තවත් බොහෝ දෑ අතර මේ ජාතිවාදයේ ස්වරූපයන් අපට හදුනාගත හැකිය. ඉතිං අද දවසේ දේශපාලනයේ ප‍්‍රගතිශීලීත්වය මනිනුයේ ස්පාටකස් ටෙලිනාට්‍ය මාලාව නරඹන අතර තුර වහල් හිමියන්ට බැනීමෙන් හෝ රොබින් හුඞ් නරඹන අතර ෂෙරීෆ්ලාට බැනීමෙන් නොවන අතර මුදල් මත පදනම්වූ මෙකී ජාතිවාදයට එරෙහිව පෙනී ඉන්නා මට්ටම අනුවය.

( රිවිහාර පින්නදුව )

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබට නෙලුම් යාය සමන් උළෙලේ අද සම්මානයක් මේ ලිපියට ලැබී ඇත. එය ගැනීමට පැමිණෙන්නේද නැත්නම් නියෝජිතයකු එවන්නේද. සවස 3 ට වෝටර්ස් එජ්

    ReplyDelete