Tuesday, May 10, 2016

තියෙනවද උඹලට නිදහසක්?



තියෙනවද උඹලට නිදහසක්?


බොටුව මිරිකල
දහඩිය උරන
කලාපෙ සොයුරියන්ගෙන්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

අට්ටාලවල වේලෙන
මහපාරෙ ගුටිකන
බඩට නොකා අකුරු ඇහිදින
සරසවියෙ හොස්ටල් එකට ඇවිත්
අහනවා මං 
තියෙනවද උඹලට නිදහසක්?

පොහොර මිටියට පොරබදින
වී ටික ගෙදර පැළවෙන
නරක්වුණු වකුගඩුව
සිහිකර සිතින් අඩන
නියරට ඇවිත් විටක් කකා
අහනවා මං 
තියෙනවද උඹලට නිදහසක්?

ස්මාට් ෆෝන් එක අතේ අරන්
පාන්දර වැඩට දුවන
රෑ වෙලා කෝච්චියෙ හිරවෙලා
ආයෙම ගෙදර දුවන
වයින් කරල අතඇරපු ජීවිතේ
රෑ වෙනව එළිවෙනව
මහා ලොකු වෙනසක් නැති
ෆේස් බුක් එකේ ඇර
සෙල්ෆියක හංගලා ඇර
ජීවිතයක් කොහෙත් නැති
ලන්ච් ටයිම් එකේ ළගින් ඉදන්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

ලලිත්ගෙන් කූගන්ගෙන්
කුමාර් ගුණරත්නම්ගෙන්
තවත් සිය දහසකගෙන්
සිරකුටියෙ යකඩ කූරු අතරින්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

නිදහස සමරන්න
සිංහ කොඩි දැම්ම
හැම ගෙදරක් ගාණෙම ගිහින්
අහනවා මං
තියෙනවද උඹලට නිදහසක්?

(රිවිහාර පින්නදුව)


No comments:

Post a Comment