Thursday, October 29, 2015

ඇවන්ගාඞ් පේ‍්‍රමය


ඇවන්ගාඞ් පේ‍්‍රමය


ඇවන්ගාඞ් 
නුඹ කොයිතරම් සුන්දරද
මං දන්නෙ නෑ ඇවන්ගාඞ්
මට තේරෙන් නෑ ඇවන්ගාඞ්
ඇයිද මේ තරම් පේ‍්‍රමයක්
පත්තර පිටු වසන්
මාධ්‍ය ගුවන් ගැබ අරා
නුඹ යාත‍්‍රා කරනවා
වතුර විස උන මිනිස්සු බැඳගිරිය
වකුගඩු නරක්වුණු ගොවියො රජරට
තවත් දහසක් දෙන
දහසක් දේ
සැමට වැඩියෙන් නුඹ ගැනම
උන් කතා කරණවා
හීනෙනුත් ඒ නමම දොඩනවා
ඇවන්ගාඞ් ඇවන්ගාඞ්
මං දන්නෙ නෑ ඇයි කියා
නැවකට මුවා කල
බොහෝ දේ ඇත ඇවන්ගාඞ්
රළ පෙරළි විත් නුඹ සිපගන්න නිමේෂෙක
කරදිය සුළඟ සමඟින් මුසුව
මේ හමන්නේ
හිවල් දේශපාලන
පිළී ගඳ නොවෙද ඇවන්ගාඞ්

රිවිහාර පින්නදූව

Saturday, October 24, 2015

දැන් පොත් හරි ගණන්


දැන් පොත් හරි ගණන්


අකුරු සුවඳට ඉගිකර
සැහැල්ලූ වෙච්ච පර්ස් එකට රව රව
අපිත් ගියා පොත් සංදර්ශනයකට
පොත් වලට අත ගහල සාධු කියන්න
ගේට්ටුව ළග ඉදන්
ප්‍රොමෝෂන් අපේ උන්
”අයියෙ සිම් එකක් ගන්නකො”
කෑම කඩවල බීම හට්වල
දන්න හදුණන මූණවල් හිනාවෙන
දවසෙ කුළියට මුදලාලිල
”මල්ලි පොත් ගත්තද?”
”නෑ අයියෙ 
මේ ස්ටෝල් එක බලා ගන්නෙ අපි”
බනින්නෙ කොහොමද මුන්ට
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නද?
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නනෙ
උන් අච්චර හොයද්දි
උඹලත් කීයක් හරි
හම්බකර ගත්තම මොකද
සතියක් හමාරක් බඩකට පුරවගන්න
ෆෝන් කාඞ් එකට
ප්ලේන්ටියට සිගරට් එකට
හැමදාම වැඩ කළොත්
අන්තිම දවසෙ පොඩි අඩියකට
කොත්තු මී කකා
නෙස්ක කැෆේ බොනකොට
සෙල්ෆියක් ගහල
හරි ජොලිනෙ අපි සෙට් එකම
ගත්ත පොත් ලිස්ට් එකම 
බුකියෙ දානකොට
මොන තරම් ඉරිසියද අපට
කියවනවලූ පොත් ගොඩක්
154 හිරවෙලා
ගෙදර යනකොට
මරදානෙ මගී පාලම උඩ
වැඩ ඇරිල දුවන
දහසක් මුහුණු
පුස්තකාලයකි මට
කියවන්න
සමාජය ජීවිතය සහ මාව

(රිවිහාර පින්නදූව)

Sunday, October 18, 2015

මේ බැරියර් පෙරළන්න


මේ බැරියර් පෙරළන්න


ඉපදුනානම් ඉතිං
ලෑස්තිවෙන්න මොන්ටිසෝරි යන්න
හැංගිමුත්තන් කරල කොහොමද
ශිෂත්වෙ පාස් වෙන්නෙ
ඕලෙවල් ඒලෙවල්
කොහෙද අපිට වෙලාවක්
පෙනහළු පිරෙන්න 
නිදහසේ හුස්ම ටිකක් ගන්නවත්
ළමා කාලය යොවුන් විය
කොහෙද අපිට සුන්දර
ටාගට් කවර් කරණව විතරයි
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

පුළුවන් තරම් දුර ඉගෙන ගන්න
හොද රස්සාවක් හොයාගන්න
ලස්සන ගෙයක් හදන්න
වාහනයක් ගන්න
හොද තැනකින් කසාදයක්
දරුවො ටිකක්
අන්තිම කාලෙ
අනේ අපි පන්සල් යන්න
කවුදෝ හදපු තනුවක්
අපි හතිදාගෙන ගහන එකද
ජීවිතය කියන්නෙ
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

හුස්ම පොද විස කෙරුව
වතුර ටික මිළ කෙරුව
මිනිස්කම සතපවා
නරුමකම අල්තාරයේ ඉන්දුව
තව කොච්චරනම් කලක්
නව ලිබරල් ධනේෂ්වර ශීලය
අපි සමාදන් වෙනවද
මේ ක‍්‍රමයෙ බැතිමතුන් වෙනවද
ලාභෙට වන්දනාවෙ යනවද
බැංකු ගිණුමෙන් නිවන් දකිනවද
වෙනසක් ඕනෙ නැද්ද
ඒකට දහිරිය නැද්ද
සමනළ සිහින දකින
දෙබරෙක් වෙන්න
ඉතිං ඔයා එනවද
මේ බැරියර් පෙරළන්න

රිවිහාර පින්නදූව