Saturday, October 24, 2015

දැන් පොත් හරි ගණන්


දැන් පොත් හරි ගණන්


අකුරු සුවඳට ඉගිකර
සැහැල්ලූ වෙච්ච පර්ස් එකට රව රව
අපිත් ගියා පොත් සංදර්ශනයකට
පොත් වලට අත ගහල සාධු කියන්න
ගේට්ටුව ළග ඉදන්
ප්‍රොමෝෂන් අපේ උන්
”අයියෙ සිම් එකක් ගන්නකො”
කෑම කඩවල බීම හට්වල
දන්න හදුණන මූණවල් හිනාවෙන
දවසෙ කුළියට මුදලාලිල
”මල්ලි පොත් ගත්තද?”
”නෑ අයියෙ 
මේ ස්ටෝල් එක බලා ගන්නෙ අපි”
බනින්නෙ කොහොමද මුන්ට
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නද?
පොත් ප‍්‍රදර්ශනයක් තියෙන්නෙ
හම්බකරගන්නනෙ
උන් අච්චර හොයද්දි
උඹලත් කීයක් හරි
හම්බකර ගත්තම මොකද
සතියක් හමාරක් බඩකට පුරවගන්න
ෆෝන් කාඞ් එකට
ප්ලේන්ටියට සිගරට් එකට
හැමදාම වැඩ කළොත්
අන්තිම දවසෙ පොඩි අඩියකට
කොත්තු මී කකා
නෙස්ක කැෆේ බොනකොට
සෙල්ෆියක් ගහල
හරි ජොලිනෙ අපි සෙට් එකම
ගත්ත පොත් ලිස්ට් එකම 
බුකියෙ දානකොට
මොන තරම් ඉරිසියද අපට
කියවනවලූ පොත් ගොඩක්
154 හිරවෙලා
ගෙදර යනකොට
මරදානෙ මගී පාලම උඩ
වැඩ ඇරිල දුවන
දහසක් මුහුණු
පුස්තකාලයකි මට
කියවන්න
සමාජය ජීවිතය සහ මාව

(රිවිහාර පින්නදූව)

No comments:

Post a Comment